ඒඩ්ස්‌ වළක්‌වන පළමුවන "පෙත්ත" එයි ~ DRAGON WORLD (මකර විජිතය)

Thursday, August 1, 2013

ඒඩ්ස්‌ වළක්‌වන පළමුවන "පෙත්ත" එයි



වසර 30 ක්‌ තිස්‌සේ ඒඩ්ස්‌ රෝග කාරක වෛරසය සමග කරන ලද සටනකින් පසු එම රෝගය මිනිසුන්ට බෝවීම වළක්‌වන ඖෂධයක්‌ සොයා ගත් බව ඇමරිකාව මෙයට සතියකට පෙර නිවේදනය කළේය. "ගිලිඩ් සයන්ස්‌" නමැති ඖෂධ නිෂ්පාදන සමාගම විසින් සොයාගනු ලැබූ මේ බෙහෙත ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මගින් දැන් වෙළෙඳ පොළට යවනු පිණිස අනුමත කර ඇත.

ටෘවාඩා (Truvada) ලෙස නම්කර ඇති මෙම ඖෂධය ඒඩ්ස්‌ රෝගය වැළඳුන සැමියකු හෝ බිරියක සිටින පවුල්වලට වැදගත් වනවා ඇත. මේ බෙහෙත් පෙත්ත පාවිච්චි කරන කෙනෙකුට ඒඩ්ස්‌ රෝගය වැළඳුන කෙනකු සමග සම්බන්ධකම් පැවැත්වීම කළ හැකිය. ටෘවාඩා ඖෂධය ඒඩ්ස්‌ නැති පුද්ගලයන්ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරයි. එමගින් ඒඩ්ස්‌ රෝගය ඔවුනට බෝ වීම වළක්‌වයි. ගිලිඩ් සමාගම මාසයකට පෙර ඒඩ්ස්‌ රෝග ක්‍ෂේත්‍රයට තවත් වැදගත් සොයා ගැනීමක්‌ හඳුන්වා දෙන්නේය. එය පෞද්ගලිකවම නිවාසයේදී ඒඩ්ස්‌ පරීක්‍ෂණයක්‌ කළ හැකි යන්ත්‍රයකි. ගෙදරදීම රුධිර සීනි ප්‍රමාණය මැන බැලීමටත්, රුධිර පීඩනය මැන බැලීමටත්, කොලෙස්‌ටරෝල් ප්‍රතිශතය ගණනය කිරීමටත් යන්ත්‍ර්‍ර නිපදවා තිබේ. තමන් තුළ ඒඩ්ස්‌ වෛරසය ඇති බවට සැකයක්‌ ඇති කෙනකුට මේ කුඩා යන්ත්‍රය මගින් ඒ බව සැක හැර දැන ගැනීමට පුළුවන. ඇමරිකානුවන් 50000 බැගින් වාර්ෂිකව ඒඩ්ස්‌ ආසාදිතයෝ බවට පත් වෙති. මෙය පසුගිය වසර 15 තුළ නොබිඳුණු වාර්තාවකි. ඇමරිකානුවන් ලක්‍ෂ 12 කගේ සිරුරු තුළ HIV වෛරසය ඇති අතර වෛරස්‌ නාශක ඖෂධ මගින් දෛනිකව ප්‍රතිකාර කරනු නොලැබුවහොත් HIV වෛරසය මෝරා ඔවුහු ඒඩ්ස්‌ රෝගීන් බවට පත්වෙති. තමන් තුළ ඒඩ්ස්‌ වෛරසය හෙවත් HIV ඇති බව නොදත් දෙලක්‍ෂ හතලිස්‌ දහසක්‌ දෙනා ඇමරිකාව තුළ ජීවත් වෙති.

ටෘවාඩා ඖෂධය පාවිච්චි කරන අය ඒ සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද සෞඛ්‍ය සැලසුමකට අනුයුක්‌ත විය යුතුය. මෙය රෝගය වැළැක්‌වීමේ වැඩසටහනක්‌ නිසා, ඖෂධය පාවිච්චි කරන අයට ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග ගැන කියාදීම මුලින්ම සිදු කෙරේ. ඉන්පසුව දිනකට පෙති 01 බැගින් ගත යුතුය. එය නොවරදවාම දිගටම ගැනිය යුතුය. පෙත්තක මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 5178 ක්‌ ඉක්‌මවයි. වසරකට රුපියල් දහනවලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ටෘවාඩා වෙනුවෙන් වැය කිරීමට ඒඩ්ස්‌ රෝගය තමන්ට වැළඳෙනු දැකීමට අකමැති අයට සිදුවෙයි. වැදගත්ම ප්‍රශ්නය වන්නේ මේ මුදල දැරීමට සාමාන්‍ය ආදායමක්‌ ඇති ඇමරිකානුවන්ට බැරි වීමය. ඒ අනුව තුන්වන ලෝකයේ ජනයාට එය කිසිසේත්ම දැරීමට හැකි වන්නේ නැත.

ඒඩ්ස්‌ රෝගය වැළඳෙන ඇමරිකානුවකුට ඔහුගේ ජීවිත කාලය පුරා ප්‍රතිකාර කිරීමට ඩොලර් ලක්‍ෂ හයක්‌ හෙවත් රුපියල් කෝටි 8 ක්‌ පමණ වැය වෙයි. එසේ තිබියදී රුපියල් දහනව ලක්‍ෂයක්‌ හෙවත් ඩොලර් 14000 ක්‌ ගෙවා මේ රෝගය බෝ වීමෙන් වැළකී සිටිය හැකි නම් එය ප්‍රමාණවත් විසඳුමක්‌ බව වෛද්‍යවරු පවසති.

ටෘවාඩා ඖෂධය වෙළෙඳපොළට නිකුත් කරන ලද්දේ දින කිහිපයකට පෙර වුවද වසර 2004 සිටම ඒ ගැන පර්යේෂණ කළ බව "ගිලිඩ් සයන්ස්‌" ආයතනය කියයි.

මේ පෙත්ත නිකුත් කරන්නේ ඒඩ්ස්‌ වැළඳී නැති සහ HIV වෛරසය ශරීරගතව නැති අය වෙත පමණි. ඒඩ්ස්‌ වැළඳුන රෝගීන් මේ ඖෂධය ගැනීමෙන් සිදු වන්නේ මුදල් නාස්‌තියක්‌ පමණකැයි ඇමරිකන් ආහාර සහ ඖෂධ අධිකාරිය කියයි.

උපුටා ගැනීම  DIWAINA NEWS PAPER

1 comments: